සිය පියාගේ පෞද්ගලික ලිපි ගොනු හා බඩුබාහිරාදිය පිලිවලකට සැකසීමට ගිය ගැල් හට හිස්කබලක සංකේතය සහිත ලිපි ගොනු හමු වූයේ ඔහුගේ පෞද්ගලික සේප්පුව තුළ තිබී ය. ඇය බිම, ඇඳ මත හා මේසය පුරා වර්ගීකරණය කර තිබූ පොත් රාශියක් මැද අසුන් ගෙන ලිපි ගොනු එකිනෙක පිරික්සන්නට වූවා ය. වසර පහෙන් පහට ඩොලර් මිලියන ගණනක් වටිනා රත්රන් පසු කාලීනව ඩොලර් මිලියන ගණනක් වටිනා ප්ලැටිනම් සහ තවත් ඕනෑම වේලාවක මුදල් බවට පත් කළ හැකි මූල ද්‍රවය ගාඩියන්වරුන්ගේ සේප්පුවකට යවා ඇති ආකාරය මෙන්ම වර්ෂයකට ගාඩියන් සංවිධානය පවත්වාගෙන යාමට ඉන් ලබාගත් මුදල් ප්‍රමාණය ගාඩියන්වරුන් යටතේ පවතින හමුදා ඛණ්ඩය, නීත්‍යනුකූල ව්‍යාපාර , සෙබළුන් වෛද්‍යවරුන් රියදුරන් දේශපාලකයන් ඔත්තුකරුවන් ඇතුළු ගාඩියන් සංවිධානයේ සියළුදෙනා ගැන තොරතුරු එහි අඩංගු වූ අතර සිය පියාගේ රාජකාරිය මේ ලිපිගොනු යාවත්කාලීන කර පවත්වා ගෙන යාම බව ඇයට වැටහීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.
නිවසේ සියලු කාර්යයන් අවසන් කල ඇය තමාට අවශ්‍ය ආහාර පාන මාර්ගගතව ඇනවුම් කර සිය පරිඝණක ය ඉදිරියේ අසුන්ගෙන නැවත එම අසුනෙන් නැගී සිටියේ කිසිවකුට සොරකම් කළනොහැකි පරිදි ගාඩියන්වරුන්ගේ සෑම තොරතුරක්ම පරිඝණකගත කිරීමෙන් අනතුරුවය. සිය ආහාරය ගෙන අවසන් වූ ඇය ගාඩියන් සංවිධානයේ තොරතුරු අඩංගු සියලු ලිපිගොනු එකින් එක පුලුස්සා දැමුවාය. අවසානයේ ඇය නැවත සිය සයනයේ අසුන් ගත්තේ සිය පියා තමාට තබා ගිය ගාඩියන්වරුන්ගේ වටමේස ලාච්චුවක තිබුණු ලිපි ගොනුව කියවා අවසන් කිරීමටය. සිහින් හඬින් වාදනය වූ හේබ්‍රේව් ගී තනුවට සවන්දෙමින් ලිපි ගොනුව විවරකළ ඇය මුලින්ම දුටුවේ සිය පියාගෙ අත් අකුරින් ලියූ ලිපියක් වූ අතර එහි ආමන්ත්‍රණය " ආදරණීය දුවේ " ලෙස තිබුණු බැවින් ඇය මුලින් ම එම ලිපිය කියවීමට තීරණය කළාය.
" ආදරණීය දුවේ, ඔබ මෙය කියවන විට බොහෝ දුරට මා මේ ලොව අතහැර ගොස් තිබෙනු ඇත. නමුත් මේ ලොව මා රැඳී සිට කරපු කියපු දේ ගැන ඔබ සතුටු වේවි ද දුක්වේවිද යන්න සිතීම අපහසු නමුත් ඒ කාරණා ගැන ඔබ කණගාටුවේයයි මා නොසිතමි. මම සෑම විටම ඔබේ මවට හා ඔබට එකසේ ප්‍රේම කළෙමි. නමුත් ඔබගේ මව ආරක්ෂා කරගැනීමට රටක් රැකීමට පොරොන්දු වූ මා හට නොහැකිවුනි. ඒ ගැන නැවත මම සමාව යදිමි. වසර ගණනාවකට පෙර ඇය ඔබ හා මා මෙලොව තනිකර යන විට මාගේ ආත්මය ගිනි ගත් සෙයක් මට දැනුනු අතර මට ජීවත්වීමට තිබුනු එකම හේතුව ඔබයි. මම සිටි කාළය අතරතුර ඔබගේ මවගේ හිස්තැන පිරවීමට සමත් වූවායයි සිතමි. මගෙන් අඩුපාඩු සිදුවූවා නම් මට සමාවෙන්න. මම හැමදාමත් ඔබට ප්‍රේම කරමි. මේ ලිපිය ඔබ කියවන විට මම ඔබගේ දරුවෙක් දැක සතුටින් මේ ලොව අතහැරින්නට ඇතැයි සිතමි. මම දකින ගාඩියන් ඉතිහාසයේ ශක්තිමත්ම ගාඩියන් පරපුර නියෝජනය කරණ ඔබ ඔබේ වයසක පියාට සමාව දී ඇතැයි සිතමි. ඔබට මගෙන් යමක් විමසන්න අවශ්‍යම මොහොතක් ඒවී මාගේ ආත්මය සොයායන්න ඔබට පිළිතුර හිමිවේවී.
මීට ඔබේ ආදරණීය පියා... "
ලිවුම කියවා අවසන්වන විට නැවත ගැල්ගේ සිත සොවින් බර වී තිබුනු අතර ඇය මොහොතක් සිය පියා හා මව සම්බන්ධ ඇගේ මතකයන් අස්සේ කිමිදෙමින් සිට ලිපි ගොනුවේ ඉදිරියට යාමට තීරණය කළාය.
ඊළඟට තිබුනේ හදවතක් සහ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් J අක්ෂරය පින්තාරු කළ පිට කවරයක් සහිත කොළ ඇමිණිය හැකිව සකස්කළ පරණ තාලයේ පොතකි. ගැල් එහි පළමු පිටුව පෙරලූ අතර හිස්ට්‍රි ඔෆ් හාට් ලෙස එහි සඳහන් වී තිබිනි.
ඊළඟ පිටුවේ සිට ඇගේ පරම්පරාවේ ඉතිහාසය සඳහන් වී තිබිනි.
දාවිත්ගේ යුගයේ සිට තිබුනු කොටස් කියවීම මගහැර දැමූ ඈ 1895 දී රචිත කොටස සිට කියවීම ඇරඹුවාය.
ශේහ්රාහ් ගේ පුත්‍රවූ ජෙරම් වන මම ගාඩියන්වරුන්ගේ සංවිධානය සම්බන්ධව විශාල වශයෙන් අවධානයක් දුන්නෙක් නොවෙමි. නමුත් මාගේ පියාගේ ඉතිහාසය මා පසුපස හඹා ආ අතර ශ්‍රේෂ්ඨතම ගාඩියන් වරුන්ගෙන් සිදුවූ එකම වැරැද්ද නිවැරදි කිරීමේ වගකීම අප වෙත පැවරුනේ අපගේ කැමැත්තෙන් නොවුනද සහෝදරයින් සේ බැදුනු ජෙසායා , රෝවාම් , නේල් සහ මා ඈ හමු වූවේ අහම්බෙනි.
අපගේ පියවරුන්ට ආරක්ෂා කල නොහැකිවූ දාවිත්ගේ මිනිපිරියක වූ කේරබ්ගේ දියණිය වූ ඈගේ ප්‍රඥාව අප පුදුමයට පත්කළ අතර කිසිදු වගවිභාගයකින් තොරව අප ඇයව අපේ රාජිණිය ලෙස පිළිගත්තෙමු. නමුත් ඇය අපව පිළිගැනීමට අදිමදි කලේ ඇගේ මව පියා ඝාතනය වීම අපගේ ආදි පරපුර සිදුකල පොරොන්දුව කඩකිරීමක් වූ බැවිනි. නමුත් ඇයගේ විශ්වාසය ලබාගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට අප සැදී පැහැදී සිටි අතර ඇය අප හතරදෙනාට ලබාදුන් ඉළක්ක සැපිරීම ඉතා අපහසු නමුත් ඕනෑම කැපකිරීමක් මැද එය ඉටු කිරීමට අපි තීරණය කළෙමු.
ඇය මාහට ලබාදුන්නේ ඉතා අපහසු භාරදූරම කටයුත්තකි. මා ඊශ්‍රායලේ නැතිවූ ධර්ම ග්රන්ථයක් සොයාගෙන පැමිණිය යුතු වූ අතර ඇයගේ තර්කය වූයේ ගාඩියන්වරුන්ගේ නීතිය පවත්වාගෙන යන්නා නීතිය දැන සිටියයුතු බව වූ අතර ඒ සඳහා දෙවියන්ගේ මාවත වැඩිපුර දැන සිටියයුතු බවයි. ඇය මාගේ ඉළක්කයට යෑමට ඉඟියක්ද ලබාදුන් අතර ඒ සඳහා මම ඉතාලියේ වැඩවසම් සමයේ ඉදිකළ රෝමානු කතෝලික පල්ලියක් සොයා ගත යුතුව තිබිනි.
නමක් ගමක් වත් නොදැන පුරාණ චිත්‍රයක් පමණක් අතැතිව මම ඉතාලියේ ගම් දනව් පීරුවෙමි. මා සමඟ ජෙසායාද පැමිණියේ අප අතරින් මුලින්ම ගැටළුව විසඳූ තැනැත්තා ලෙස හා ඇගේ ඉල්ලීම මුලින්ම සැපිරූ තැනැත්තා ලෙසත් ඇගේ විශ්වාසය දිනීමෙන් අනතුරුවයි. කෙසේ හෝ ගමක් මධ්‍යයේදී මා හට එම පල්ලිය හමුවූ අතර ගැටළුව දිග්ගැසුනේ පුරාණ පල්ලිය සොයාගත් පසුවයි. එය මේ කාල වකවානුව වන විට කන්‍යාරාමයක් බවට පත්වීතිබූ අතර එම පල්ලිය අධික නීතිරීතිවලින් පිරී පැවතිනි. කිසිදු පිරිමියෙකුට පල්ලියේ නමස්කාරකරන ස්ථානයෙන් එහා ගමන් කිරීමට අවසරයක් නොවිනි. සොයායන ග්‍රන්ථය ගැන කිසිදු සාක්ෂියක් නොමැතිව අපි දින කිහිපයක් ගමේ තානායමක ගතකල අතර ගම්වැසියන්ගේ සැකයට භාජනය නොවනු පිණිස අපි උගත් රචකයන් බවත් සම්පූර්ණ ඉතාලියේ සෑම ගමක්ම ආවරණය වන ලෙස පොතක් ලිවීම අපේ අරමුණ බවත් ඔවුන්ට දැන්වීම ජෙසායාගේ අදහසකි. කෙසේ හෝ සති අන්තයේදී ජෙසායා විසින් කන්‍යාරාමයේ ප්‍රධානීතුමිය පරණ බොරුවෙන්ම රැවටීමට ජෙසායා සමත්වූ අතර ඇය අවට ගම්මාන ගැන ඇසූ දහසක් ප්‍රශ්නවලට ජෙසායා නිවැරදිම පිළිතුර දුන් අතර අප හතර දෙනාගෙන් දූරදර්ශීම පුද්ගලයා වූ ඔහු මේ බොරුව ගොඩ නැගීමට පෙර අවට ගම්ගැන හැකිතාක් අධ්‍යනයකර තිබිනි.
කෙසේ හෝ ඇය ජෙසායා සහ මාහට කණ්‍යාරාමයේ කණ්‍යාවන් රැඳී සිටින ප්‍රදේශයත් එහි පොලව යට තිබුනු කාමර කිහිපයකුත් හැර මුලු කණ්යාරාමයම පෙන්වූ අතර සැක හිතෙන කිසිවක් අපට හමු නොවුනේ මා අධර්යමත් කරමිනි. නමුත් ජෙසායා යනු කිසිවක් ලෙහෙසියන් අත්හරින්නෙකු නොවූ අතර ඔහුගේ දැඩි වෑයමකින් අනතුරුව ඔහුට එහි කණ්‍යා සොයුරියක් දැලේ දාගැනීමට හැකියාව ලැබිනි. බුද්ධියෙන් , කතාබහෙන් මෙන්ම පෙනුමෙන්ද අප සැමටවඩා ඉදිරියෙන් සිටි ජෙසායා සිය වචන හරඹයෙන් කණ්‍යා සොයුරියන් නවාතැන් ගෙන සිටින ප්‍රදේශය ගැන දැනගත් අතර ඇය හරහා පැය විසිහතර ම එහි යාඥා මෙහෙයන් පැවැත්වෙන බවද අප දැන ගතිමු. සෑම පැය දෙකකට වරක්ම කණ්‍යා සොයුරියන් තිදෙනෙකු බැගින් යාඥාව අරඹන අතර තිදෙනෙකු යාඤාව අවසන් කර සිය කාමරවලට ගමන් කරයි. ප්‍රධාන කන්‍යා සොයුරිය සෑම දිනකම පාන්දර හතරට යාඥාවට සහභාගී වූ අතර නැවත සවස හතරට යාඥාකරයි. ඇය යාඥාකරන වේලාවට සියලු කණ්‍යා සොයුරියන් කාමරවල සිටියයුතු වේ. එම වේලාවට මුලු කණ්යාරාමයම නිහඬ අතර කිසිවෙකුට කණ්යාරාමයට ඇතුළු විය නොහැකි බවත් ඔහු සොයාගෙන තිබිනි.
පාන්දර හතරට මටද නොදන්වා ජෙසායා පල්ලියට හොරෙන් ඇතුලු වී තිබුනු අතර කණ්‍යා සොයුරියන් නවාතැන්ගෙන සිටි ප්‍රදේශය කාගෙවත් ඇසකට හසු නොවී පැය දෙකක් තුළ ගවේෂණය කිරීමට ඔහු සමත්වී තිබිනි. කිසිවක් හමු නොවූ අතර නැවත හවස් යාමයේද අප දෙදෙනා පල්ලියට ඇතුළු වූ අතර පොළව යට කාමර අඟුළුලා තිබුනු බැවින් නැවත ජෙසායා ප්‍රධාන කන්‍යා සොයුරියගේ කාමරයට පිවිසී එහි තිබී හමුවූ යතුරු කැරැල්ලක් ආධාරයේ පහල තිබූ කාමර විවර කර ගැනීමට අපි සමත් වුනෙමු. එහි තිබුනු වීදුරු අල්මාරියක රන් කවරයක් සහිත මුතුවලින් හැඩකල බයිබලයේ පරණ ගිවිසුමක් අපට හමුවූ අතර එය හීබෲ බසින් රචනා කර තිබිනි.
වහා එය රැගත් අපි ගමෙන් පලායෑමට සමත්වූ අතර ජෙසායාගෙ විශ්වාසය වූයේ බයිබලය නැතිවීම ඔවුන්ව කලබලයට පත් නොකරනු ඇති බවත් එය එහි තිබුනාද නැද්ද යන වගක් ඔවුන් දැනසිටීමට හැකියාවක් නැති බවත්ය. එයට හේතුව ලෙස ඔහු දැක්වූයේ වසර ගණනකින් එම කාමර විවර කර නොතිබූ බව හා කිසිදු කන්‍යා සොයුරියක් එම ප්‍රදේශයට නොයන බවත් අවම වශයෙන් ප්‍රධාන කන්‍යා සොයුරියවත් එම ප්‍රදේශයට ගමන් නොකරන බවත් ඔහුට දැනගැනීමට ලැබුනු නිසා බව ඔහු පසුකාලෙක මට කීවේය. කෙසේ වෙතත් එම අලංකාර බයිබලය ඇයට බාරදීම සඳහා මට භාරකල ඔහු තමා සම්බන්ධ වූ බව රැජිණට නොදන්වන ලෙස මා පොරොන්දු කරගෙන රෝවාම්ට සහය දැක්වීමට ඊජිප්තුවට පිටත් වූවේ මා ප්‍රංශයට පිටත් කරමින්.
කෙසේ හෝ එම බයිබලය මගේ අගය ඇයට ඔප්පු කල අතර ඇයගේ නායකත්වය යටතේ අප නැවත අපගේ රට වන කානාන් දේශය මැදපෙරදිග රටවල් මධ්‍යයේ ගොඩනැගීමට පාර කැපුවෙමු. ඇයගේ නායකත්වය යටතේ විසිරී තිබුනු ගාඩියන් සංවිධානය නැවත එක්සත් කලෙමු. ෆෝලන්වරුන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් පසු විසිරී ගිය ගාඩියන් සෙබළුන් නැවත රැස් කර අනාගතයේ ඇතිවිය හැකි ආපදාවලට මුහුණ දිය හැකි විශේෂ කන්ඩායමක් නිර්මානය කළෙමු. නමුත් අප නොදුටු ජෙසායා සහ රැජිණිය පමනක් දුටු කළුවලාවක් අප වසාගත්තේ අප නිරායුධ කරමින්.
පළමු ලෝක යුද්ධය වසර හතරක් පුරා අපගේ සැළසුම් නවත්වා ලීමට සමත්වූ අතර කෙසේ හෝ එම බාධකය ජය ගැනීමට අපි සමත්වුවද ඊශ්‍රායලය ගොඩනැගීමේ අපේ සැළස්ම දියත් කිරීමේ වේගය දැඩි ලෙස අඩාල විය. නමුත් අප අපේ දිවියේ සැඳෑ කාළයේ හෝ ඊශායලය බිහි කිරීම අරමුණු කර ගත්තෙමු. නමුත් ඊළඟට වලාවක් නොව කුණාටුවක් අපගේ සැළැස්ම මධ්‍යට පාත්වුනේ රැජින සහ ජෙසායාවද පුදුම කරමින්.
අප සම්පූර්ණයෙන් විනාශකලා යයි සිතූ ෆෝලන්වරු ජර්මනියේදී රැස්වී නැවත සම්පූර්ණ යුදෙව් විරෝධී යුද්ධයක් ආරම්භ කළෝය. ජෙසායා සහ අප අපේ වැඩිමල් දරුවන්ට අපගේ සම්පූර්ණ සැළසුම් සහ තත්වය වටහාදුන් පසු ජෙසායාගේ පුත් එනොක් සහ නේල්ගේ පුත් මයිකල්ගේ නායකත්වය යටතේ ගාඩියන්වරු ජර්මනිය තුළට වැද යුදෙව්වන් රැසක් ගලවාගත් අතර ෆෝලන්වරුන්ගේ ජර්මනියට ලැබෙමින් තිබූ අමුද්‍රවය සියල්ල නවතාලීමෙන් පසු ජර්මනිය දැඩිලෙස දුර්වල විය. කෙසේ හෝ දෙවනි ලෝක යුද්ධය අවසන් වූ නමුත් අපගේ රැජිණ තත්වය දරුණු වූ අතර ඈ දරුණු අසනීපයකට ලක්විය. ජෙසායාද සිය දිවියේ අවසන් කාළය ගත කල අතර නේල්ද රෝදපුටුවකට වැටුනේ අපගේ කාළය අවසන් විමට ආසන්න බව පසක් කරමින්. මම මෙය මෙතැනින් නවත්වන අතර මේ යුද්ධය ඉදිරියට රැගෙන යාම මගෙ දරුවන්ට භාරකිරීමට මම තීරණය කළෙමි. මේ දෑස වසා ගැනීමට ප්‍රථම නිදහස් කානාන් දේශයකට පාතැබීම මගේ හීනයයි...."
ඊළඟ ලිපිය වෙනකෙකුගේ අත් අකුරින් වූ අතර එය ආරම්භ වූයේ ජෙරම්ගේ පුත්‍ර වූ ගේබ් වන මම ලෙසය.....
Comments