Wrath ( Gal )
රෝහල් ඇඳක් මත නැවත සිහිය ලැබු ගැල් තමන්ට සිදු වූ දේවල් නැවත මතකයට නගා ගැනීමට උත්සහා කලේ හිසෙහි බර ගතියක්ද සහිතවයි. පියා තමාව සදහටම හැරගිය පුවත සහ ඒ සිදුවීම ගැන ඇගේ තිබූ වේදනාව අතුරුදහන්වී ඒ වෙනුවට වෛරයක් හා කෝපය ඇගේ සිතෙහි බුර බුරා නැගෙමින් තිබූ අතර ඇය අසළ මුරකරුවන් කිහිප දෙනෙක් සිටින බව ඇය දුටුවේ ඒ අතරතුරයි. ඇඳ මත හිඳ ගත් ඇය,
" මොනවද මෙතන කරන්නේ මම පැනලා යයි කියලා හිතනවද....? " යැයි විමසුවේ ඇගේ කේන්තිය ඒ ආරක්ෂකයින් මතින් පිටකරමින්. කිසිවක් නොකියූ එක ආරක්ෂකයෙක් කාමරයෙන් පිටව ගිය අතර මොහොතකින් නැවත විවර වූ දොරින් රෝහල් කාමරය තුළට ජූද් ඇතුලුවුනේ ඇගේ වංශයට අයිති තොරතුරු අඩංගු ලිපිගොනුව සහ ආහාර ද්‍රව්‍ය කිහිපයක් අඩංගු කඩදාසි බෑගයක්ද අතැතිවයි. ජූද් කාමරය තුලට පැමිණි සැනින් අනිත් ආරක්ෂකයින්ද දොර වසා දමමින් කාමරයෙන් පිටව ගියේ කිසිදු හඬක් නොනගමින්.
" ගැල් මෙනවිය," ජූද් දිගු කතාවකට මුල පිරූ අතර ගැල් ඔහුට බාධාකළාය.
" අංක එක මට මෙනවිය වගේ විකාර කෑලි ඕනෙ නෑ නිකන්ම ගැල් කියන්න... ඊළඟ එක ඇයි මට තාත්තට ප්‍රශ්නයක් නෑ කිව්වේ....? ඇයි මට බොරු කිව්වේ.. ජූද්..? "ගැල්ට මුලු ලොවම ඇයගේ සතුරන් සේ හැඟෙමින් තිබූ අතර ජූද් කෙරෙහි වුවද ඒ හැඟීමෙහි වෙනසක් නොවීය. නමුත් ඇයව පුදුමයට පත්කරමින් ජූද් ඇයව වැලඳගත්තේය.
" ඔයා ඔයාගෙ තාත්තා වගේමයි දරුවෝ. මට හිටපු හොඳම යාළුවා ඔයාගෙ තාත්තා. එයා හොඳ මනුස්සයෙක්. එයාට මෙහෙම වෙන්න ඕනේ නෑ. මට සමාවෙන්න ඔයා ගාඩියන් කෙනෙක් වෙනකන් වචනයක්වත් එයාගෙ මරණය ගැන කියන්න එපා කියලා මට එයා කිව්වා. " ග්‍රහණයෙන් ගැල්ව නොමිදුවමින් ඔහු පැවසුවේ ඇගේ දෑස නැවත තෙත් කරවමින්.
නමුත් එක්වරම ඇයව සිය යෝධ දෑත්වලින් නිදහස් කල ජූද් ඇයට ආහාර පාර්සලය ලබාදුන් අතර " මට සමාවෙන්න ගැල් මෙනවිය " යයි පවසමින් ඇයගේ ටිකක් දුරස් වූවේය.
" ඒකට කමක් නෑ ජූද් මෙතන ඉඳගන්න. ඉඳගෙන මට කියන්න මොකක්ද උනේ කියලා.... මැරෙනවා කියලා දැන දැනද මේ ගමන තාත්තා ගියේ... " සිය රෝහල් යහනේම කෙලවරක් පෙන්වමින් ගැල් විමසුවාය.
දිගු සුසුමක් හෙලූ ජූද් ඇඳේ කෙලවරක ඉඳගත්තේ කතාව කොතැනින් ආරම්භකර කොතැනින් නවත්වන්නදැයි සිතාගත නොහැකිවයි.
" හත්වෙනි පහන ( Seventh Lantern) ඔයාලට සම්පූර්ණ විස්තර කියයි. දැනට මම කෙටියෙන් කියන්නම්. දාවිත් රජතුමාගෙ කාලේ මේ ගාඩියන්ස් , ෆෝලන්ස් සහ ලැන්ටර්න්ස් කියන සංවිධාන බිහිවුනා. ගාඩියන්ස්ලා කියන්නේ දාවිත් රජතුමාව ආරක්ෂාකරන්න දිවුරුම් දීපු අය. ෆෝලන්ස්ලා කියන්නේ අබ්සොලොම් ඒ කිව්වේ දාවිත් රජතුමාගෙ පුතා එක්ක කැරල්ල ආරම්භ කරපු පිරිස පටන් ගත්ත සංවිධානය. ලැන්ටර්න්ස්ලා කියන්නේ ඒ කාලේ තිබුනු පූජකයින් රැස්වෙලා හදාගත්ත සංවිධානයක් එයාල යුද්ධ කරේ නෑ. එයාලා කරේ ආගමේ සහ රටේ වුවමනා ඇතිවෙන වෙලාවට ගාඩියන්ස්ලා සහ ෆෝලන්ස්ලා රටේ වුවමනාව වෙනුවෙන් පෙලගස්වපු එක. ඊශ්‍රායලයට විරුද්ධව යුද්ධ එහෙම ඇතිවුනාම ගාඩියන්ස්ලා සහ ෆෝලන්ස්ලා එකතු කරවපු එක තමයි ලැන්ටර්න්ස්ලා කලේ.
ඒත් මෑතකදි ෆෝලන්ස්ලා ලැන්ටර්න්ස්ලාට පහරදීලා ගාඩියන්ස්ලා ගැන තොරතුරු හොරකම් කරලා ඒකෙන් ගාඩියන්ස්ලගේ නායකයින්ගෙ පෞද්ගලික තොරතුරු උන් දැනගෙන තිබුනා. මෙතුවක් කාලයක් ෆෝලන්ස්ලගෙ මුල් පුටුව ගැන ගාඩියන්ස්ලා දැනගෙන හිටියේ නෑ. ගාඩියන්ස්ලා ගැන ෆෝලන්ස්ලා දැනගෙන හිටියෙත් නෑ. ගාඩියන්ස්ලගෙ පෞද්ගලික තොරතුරු දැනගෙන වැඩි කාලයක් යන්නත් කලින් උන් ගාඩියන්ස්ලට පහරදුන්නා එක රෑක ගාඩියන්ස්ලා හතර දෙනාගෙන් දෙදෙනෙකුගේම බිරින්දෑවරු මැරුණා. තව ඒකාලේ හිටපු එල්ඩර් ගාඩියන් කෙනෙක්, ඩේමියන්ගේ තාත්තගේ සහෝදරිය සහ මගෙ බිරිඳ මිය ගියා. ලැන්ටර්න්ස්ලා තමන්ගේ වැරැද්දේ තරම තේරුම්ගත්තේ එදා ඒත් ඔවුන් දිගටම ඔවුන්ගේ අත්වැරැද්ද ප්‍රතික්ෂේප කලා. ඒත් සති කිහිපයකට උඩදී ඔවුන් මාස්ටර් සිමියොන්ට කතාකරලා තනියෙන් ඔය කියන මැලේසියානු ගුවන් යානයට එන්න කිව්වා රහස්වගයක් හෙලිකරන්න. නමුත් මාස්ටර් සිමියොන් තනියෙන් එන එක ප්‍රතික්ෂේප කලා. එතුමා ගාඩියන්වරු හැමෝම කැඳවලා මේ ගැන දැනුම් දීලා හැමෝම එකට යන්න තීරණය කලා. ඒත් ගුවන් ගමනට දිනකට කලින් පළමුවෙනි පහණ ඒ කියන්නේ ලැන්ටර්න්ස්ලගෙ නායකයා මාස්ටර් සිමියොන්ට කිව්වා මේ ගැන අනිත් ගාඩියන්ස්ලටවත් කියන්න එපා කිව්වොත් ඔවුන්ටත් පැමිනෙන්න අවශ්‍ය වෙයි අනතුරක් උනත් ගුවන් යානයේ සිදුවෙන්න ඉඩ තියනවා ඒක ගාඩියන්ස්ලා හැමෝටම බලපායි කියලා. නමුත් ලැන්ටර්න්ස්ලාව දැනුවත් නොකරම එයාලා හතරදෙනා ගුවන් ගමනට සහභාගි වුනා. නමුත් ගමනට පැය කිහිපයකට කලින් පළමු පහන මාස්ටර් සිමියොන්ට දුරකතනයෙන් කිව්වේ ඔයා හැමදේම විනාස කරා D හැමෝටම මැරෙන්න වෙයි වගකීම ඔයා භාරගන්න කියලා. ඒකත් දැනගෙනයි ඔවුන් ගමන ගියේ. ඒ රහස් දැන් එයාලත් එක්කම ගිනිබත් වෙලා.... " කතාව අවසාන කරන විට ගැල්ගේ මුහුණ බැරෑරුම් ස්වභාවයක් ඉසිලූ අතර ජූද්ගේ මුහුණ වේදනාවෙන් බරවී තිබුනා.
" මට ඔයාගෙ බිරිඳ ගැන කණගාටුයි. " ගැල් වචන ගැටගසාගත්තාය.
" එහෙම වෙන්න ඕනෙ නෑ. දරුවෝ එයා මැරුනේ තව ජීවිත දෙකක් බේරගෙන " ජූද් පැවසුවේ ආයාසයෙන් නගාගත් සිනහවකුත් සමඟ.
"එයත් ඔයා වගේම නිර්භීත ඇති." ගැල් කීවාය.
" ඔව් එයා හිටියේ නැත්නම් ඔයයි ඇලෙක්සා නෝනයි මේ වෙද්දි මේ ලෝකෙ නෑ. එයා නිසා තමයි කොහේන් මාත් එක්ක මේ විදිහට හිතවත් වුනේ.. එයා ගියේ මට යාලුවෙක්වත් ඉතුරු කරලා... ඒත් දැන් එයත් නෑ... ජීවිතේ වෙන්න පුලුවන් නරකම දේ ලඟම කෙනෙක් අපිව දාලා යන එක නෙවෙයි දරුවෝ. දැන් ඕක කන්න. ඕය ෆයිල් එකේ තුන්වෙනි පිටුවේ ඇති රතු පෑනෙන් ලියලා අවසන් කටයුතු කොහොමද වෙන්න ඕනේ කියලා. ඩේමියන් මහත්තයා , මම, බොහෝදුරට අගමැතිතුමා එහෙමත් අවමංගල්‍ය උත්සවයේ වැඩ බලාගනියි. "
ගැල් රතු පෑනෙන් ලියාතිබුනු එකම වගන්තිය කියෙව්වාය.
" ගාඩියන්වරයෙක් සේ මාගෙ අවමඟුල සිදුකරන්න. "
" ඔබතුමීට ගෙදර යන්න මම ලෑස්ති කරන්නම්. අපි කොහේන්ගේ සිරුර සාමන්‍ය අවමගුල් උත්සවයේදි මාරු කරනවා. ඊට පස්සෙ ගාඩියන්ස්ලගෙ සොහොනෙදි අවසන් කටයුතු කරන්න වෙනවා. අවමගුල් උත්සවයෙදි හමුවෙමු ගැල් මෙනවිය." දුරකතනයෙන් ඩේමියන් අමතමින් ජූද් කාමරයෙන් පිටවූ අතර ගැල් ඇගේ කෑම පාර්සලය දිගහැරියාය. ඇයගේ ප්‍රියතම ආහාර සියල්ලම පාහෙ තිබෙනු දැකීම ඇගේ දෑස නැවත තෙත්කිරීමට සමත්විය.
****
" තාත්තාගේ සිරුර මාරුකරනවා කිව්වට මුකුත් කලේ නෑනේ. " ගැල් සිතුවේ සිය පියාගේ සිරුරට අවසන් ගෞරව දක්වා රාජ්‍ය ගෞරව සහිතව දේහය දවාලන අවස්තාවේදීයි. නමුත් ඇය අසලට පැමිණි ජූද් ආරක්ෂකයින්ගේ සුසානයට යාමට ඇය එනතුරු අනෙක් අය බලාසිටින බවත් ජූද්ව අනුගමනය කරනලෙසත් ඇයට දැන්වූවේය. ජූද් ඇයව සුදු පැහැ ලිමොසින් රථයක් ඉදිරියට රැගෙන ගොස් එහි දොර විවර කර දුන් අතර වාහනයට ඇතුල්වූ ඇය දුටුවේ ජේකබ් සහ ඩේමියන් ඒ තුළ හිඳ සිටින ආකාරයයි.
ඩේමියන් පෙන්වූ අසුනේ ගැල් අසුන්ගත් අතර ඇය කතාකරන්න කලින් ඩේමියන් සිය හඬ අවදිකලේය.
" බය වෙන්න එපා මම කලින්ම කොෆින්ස් එවුවා. ඒවා හදලා තිබ්බේ පතුල හෙමීට පාත් කරන්න පුලුවන් වෙන්න. ඒකෙන් අපි උත්සවය අතරමැදදි ම සිරුරු මාරු කලා. අපිට ඉස්සරහින් සිරුරු ටික අරන් යනවා තර්ඩ් ලැන්ටන් සිරුරු බාරගෙන තියෙන්නේ. "
Comments