ඩේමියන් කාමරයේ පසෙක තිබූ ලෝහමය රාක්කයේ ඉහළම තිබුණු ලිපි ගොණුවක් අතට ගත්තේය. ගොණුවෙහි ඉහළින්ම තිබුනු ඉතාම පැරණි පෙනුමැති දුර්වර්ණ වූ ලියවිල්ලක් අතට ගත් ඔහු හේබ්‍රේව් ( හීබෲ ) බසින් තිබුණු එම ලිපිය ශබ්ද නගා කියෙව්වේය.
" බැරන් , ඇග්රන් , ඩාහන් හා කොහේන් යන වංශවලට අයත් ඊශ්‍රායලයේ අතීතය අනාගතය හා වර්තමානය සුරකින්නන්ගේ හා ගොඩනගන්නන්ගේ ඉදිරි පරපුර වෙත දන්වන වගනම් ,
අද දවසේ පටන් ඔබ සිව් දෙනා එකාමෙන් රට වෙනුවෙන් කැපවිය යුතු අතර ආරක්ෂකයින්ගේ සංවිධානයේ කිසිවෙකුට ද්‍රෝහි නොවිය යුතුය , සංවිධානයේ කිසිවෙකුගේ ලේ නොසෙල්විය යුතුය.
ආරක්ෂකයින්ගේ සංවිධානය ගැන මතු උරුමක්කරුවන්ට සහ අත්‍යාවශ්‍ය නම් උරුමක්කරුගේ භාරකාරයාට පමණක් හෙලිකල යුතු අතර පිටස්තරයෙකුට සංවිධානය ගැන තොරතුරු දන්වන්නෙක් වේ නම් ඔහුට මරණ දඬුවම ලබාදිය යුතුය.
දාවිත් රජුගේ පටන් අද දවස දක්වා සිටියා වූ අපගේ සේවය ලැබීමට සුදුසු සියල්ලන්ට එනම් දෙවියන්වහන්සේගේ මාර්ගයෙන් හැරී නොගියාවූ බියගුලු නොවන තම දේශය ජාතිය ආගම පාවා නොදෙන්නාවූ දාවිත්ගෙ රුධිරයට ඍජු නෑකම් දක්වන ඕනෑම අයෙක්ව දිවිහිමියෙන් ආරක්ෂා කළයුතුයි.
ඔහුගේ සෑම අණක්ම පිලිපැදිය යුතු අතර ඔහුගේ යම් අණක් රටට ජාතියට සහ ආගමට හිතවත් නොවේනම් එය ප්‍රතික්ෂේප කිරීමට ආරක්ෂකයින් සිව් දෙනාගේම එකඟත්වය ඇත්නම් පමණක් හැකියාව ඇත.
ඔබගේ ඉපැයීමෙන් සියයෙන් අටක කොටසක් ආරක්ෂකයින්ගේ රහස්‍ය ගබඩාවේ තැන්පත් කලයුතු අතර එම ධනය දාවිත් රජතුමාගේ දරුවෙකුගේ අනුදැනුම යටතේ රටට අවශ්‍යම මොහොතක පමණක් භාවිතාකල යුතුය. යම් හෙයකින් දාවිත්ගේ දරුවෙකු නොමැති අවස්ථාවකදි නම් ආරක්ෂකයින් සිව්දෙනාගේම කැමැත්ත ඇත්නම් භාවිතා කළ හැකිය.
ආදායමට අදාලව ධනය තැන්පත් කිරීමේදී කාලීන මුදල් වලින් නොව වටිනාකමට අදාලව රන් රිදී මුතු මැණික් ආදී වස්තූන්ගෙන් තැන්පත් කළයුතුය.
....... මේ තමයි මූලික නීති පත්‍රය මේකේ කොටස් කිහිපයක්ම කලින් කොහේන් මැදුරට එල්ල වුනු ප්‍රහාරයෙන් විනාස වුනා.
නමුත් තවත් ඉදිරි නීති තියනවා මේවට එකඟ වෙන්න පුලුවන් කියලා ඔයාලා හිතනවද තවමත් ඔයාලට හැරිලා යන්න අවස්ථාව තියනවා.... "
" ඩේමියන් මොන කෙහෙම්මලක්ද තව හැරෙන්න කතාකරන්නේ ඉක්මනට ඔය වැඩේ ඉවරයක් කරන්න. " ජේකබ්ව හොඳින් හඳුනන්නෙක්නම් ඒ කටහඬේ තිබුණු සාමකාමීත්වයට බියෙන් සලිතවනු නො අනුමානයි. සුනාමියකට පෙර මුහුද ආපස්සට යන්නා සේ මහා විනාශයක් සිදු කිරීමට ප්‍රථමයෙන් ජේකබ්ද මනා සාමාකාමී ස්වරූපයක් පෙන්වයි.
" හොඳයි එහෙනම් ඔයාලගෙ ඉස්සරහා මේසයේ ලාච්චුවල යතුරු ජුබිලියට පිටත් වෙන්න කලින් ඔයාලගෙ තාත්තලා මෙහෙ තියලා ගියා. මම ඒ යතුරු අරන් එන්නම් ඔය ලාච්චු ඇතුලේ ඔයාලගෙ වංශයට අදාලව සිද්ධ වුණු හැම සිදුවීමක්ම ලියලා පරිස්සමින් තැන්පත් කරලා තියනවා ඒවා සිදුවුන විදිහ අදාල වංශය විතරයි දැනගන්න ඕනේ ඒක නිසා තමන්ට අයත් නැති වංශවලට අදාලනැති ලේඛන කියවන්න තහනම්... "
" තාත්තා යතුර තියලා ගියානම් මුගෙන් හංගන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නැතුවැති තහනම් තහනම් කිව්වට " මුවින් නොකීවත් ඇලෙක්සාගේ සිතින් ඇය පියා යතුර ඍජුව තමාට භාර නොදුන්නාට බැනවදින්නට විය. නමුත් ඩේමියන් යතුරු භාරදෙන විට ඇලෙක්සාට වරදකාරි හැඟීමක් දැනුනේ ලියුම් කවරයක බහා ඒ ඒ සළකුණට අදාලව ඉටිවලින් මුද්‍රාතබා කිසිවෙක්ට විවර නොකලහැකි සේ ඒ යතුරු තිබුණු බැවිනි.
" යතුරු ඔයාලා ලඟ තියාගන්න ඔය ලාච්චු ඇතුලේ තියන රහස් පිටට හෙලිවෙන්න දෙන්න එපා... "
ඩේමියන්ගේ කතාවට බාධාකරමින් කාමරහ ඇතුලේ තිබූ ඉතා පැරණි දූරකතනයක් නාද වුනි. බැරන් නිවසෙහි එක දුරකතනයකින් පමණක් මෙය හා සම්බන්ධ විය හැකි බව දන්නා ඩේමියන් දුරකතන රිසීවරය කනෙහි තබා ගත්තේ " කියන්න ජූද් " ලෙස ආමන්ත්‍රණය කරමින්.
" මාස්ටර්, ගැල් මැඩම්ගේ ස්කොඩ් එකේ ෆෝලන්ලා කිහිප දෙනෙක් ඉඳලා... එයාලා ස්කොඩ් එකේ අනිත් අයව මරලා දාලා චැම්බර් එකට ඇතුල් වෙන්න හැදුවේ හය දෙනාගෙන් හතරක් ඉවරයි දෙන්නෙක්ට අමාරුයි..... ඒවගේම ප්ලේන් ක්‍රෑශ් එක ලඟ මළ සිරුරු හරියටම අඳුරගෙන තියනවා එල්ඩර් ගාඩියන් වරු හතරදෙනාම අපිට නැතිවෙලා මාස්ටර්. මුදු ගැනත් කිසිම ආරංචියක් නෑ...."
" ඩෙඩ් බොඩීස් ටික ගිනිතියන්න අරුන් දෙන්නව පිට යවන්න එපා අපේ හොස්පිට්ල් එකේ සම්පූර්ණ ආරක්ෂාව දාලා හොඳ කරන්න. පැනලා යන්න හැදුවොත් පැරලයිස් කරවන්න.... ජූද්ට අනතුරක් වෙලා නෑනේ ? "
" උරහිසට දෙකක් වැදුනා මාස්ටර් ඒක ගානක් නෑ. මාස්ටර්ලගෙ රැස්වීම ඉවරවෙනකන් මෙතන මුර කරන එක මගේ රාජකාරිය. "
" ජූද්, මොනවද මනුස්සයෝ ඔය කියන්නෙ? අපි රැස්වීම දැන්ම නවත්තනවා. ඔයා ඔතන ඉන්න එපා ඉක්මනට යන්න බෙහෙත් දාගන්. මම මෙහෙ වැඩ බලාගන්නම්."
"ඒත් මාස්ටර්... " ජූද්ගේ පැමිණිලි කිරීම්වලට ප්‍රථමයෙන් දුරකතනය විසන්ධි විය.
" චාරිත්‍ර වගකීම් හැම රෙද්දක්ම යකාට ගියාවේ.... " ඩේමියන් ලඟ තිබුනු කවිච්චියට පාපහරක් එල්ල කලේ ඒ මත තිබුනු පිත්තල දේවදූතයන් සිව් දෙනාගේ පිළිම හතර බිම පෙරලා දමමින්.
කලබලෙන් ලිපිගොනු තැබූ සේප්පුව දෙසට ගිය ඔහු එතැන තිබූ කොළයක් රැගෙන මේසය මත තබාගෙන යමක් කුරුටු ගෑවේය. එය අවසන් වූ පසු ඔහු ඉදිරියේ තිබූ කාඩ්කුට්ටමේ දියමන්තිය ආකාරයට කැටයම් කර තිබූ ලාච්චුව ඇර එතුලින් ඉදිකටුවක් ගෙන සිය සුරතෙහි මහපට ඇගිල්ල සිදුරු කර ලේ වෑහෙන ඇඟිල්ල කොළයෙහි ඩේමියන් බැරන් යන නාමය ඉදිරියේ තැබුවේය.
" මම මුල ඉදන්ම කිව්වා බැරිනම් හැරිලා පලයව් කියලා.. හැමෝම හිටියනේ... අපේ වෙලාව සීමිතයි. ලේවලින් තමන්ගෙ නම ඉස්සරහා සළකුණක් දාන්න. එකෙක් හරි මේ නීති කැඩුවොත් මම මගෙ අත් දෙකෙන්ම ඌව මරලා දානවා... "
" මේක නම් විහිළුවක් වෙන්න ඕනේ. මොකක්ද මේ මනුස්සයට වුනේ..." ගැල්ගේ සිතට නැගුනු පැනය එය වුනු නමුත් ඇය ඉදිරියේ කොළය තැබූ ඩේමියන්ගේ තියුණු ඇස් ඇයගේ ඇස් හා ගැටෙන මොහොතේ ඇය මෙය විහිළුවක් නොවන බව වටහාගත්තාය.
" මම කොහොමද ලේ සළකුණක් තියන්නේ..? " ගැල් විමසුවේ සත්‍යවශයෙන්ම වන අතර මෙතැන රැස්ව සිටින්නන් අතර රුධිරය හෙලීම යන්න සම්පූර්ණයෙන් අරුමයක් වූ එකම තැනැත්තා ඇය වූවාය.
" මට ඔය ලාච්චුවට අතතියන්න තහනම් ඒකෙ ඇති මෙච්චර කාලෙකට පාවිච්චි වුණු ඉදිකටුව " ඩේමියන් ඉවසීමේ සීමාවෙහි අග්‍රයේ සිටියේය.
ඇය ලාච්චුව ඇර බලන විට දුටුවේ රිදී ඉඳිකටුවක් ලාච්චුවේ වම් කෙළවරේ කුඩා වීදුරු පෙට්ටියක දමා තිබූ අකාරයයි. ඇය ඉඳිකටුව අතට ගෙන සිය ඇඟිල්ල සිදුරු කරගැනීමට හිතහදාගන්න උත්සහ කළාය. මේ වනවිටත් ජේකබ් සහ ඇලෙක්සා ලේ වෑහෙන ඇඟිල්ලක හිමිකාරයෝ ව සිටියහ. නමුත් පත්‍රය ඇත්තේ ගැල් සතුවය.
ගැල් දෑස් අඩවන් කරගත්තාය. ඩේමියන් ඇය අත තිබුනු ඉඳිකටුව උදුරාගත් අතර ඇය සිතීමටවත් පෙර ඔහු ඇගේ ඇඟිල්ල සිදුරු කළේය . අඩි හයකට වඩා උස ඩේමියන්ට ගැල් ගේ ඇඟිලි තුඩ සමීපවීමට මේසය මතට වාරු දී නැවෙන්නට සිදුවී තිබිනි. ලේ වලින් වැහුණු මහපටැඟිලි තුඩු සහිතව ඇලෙක්සා සහ ජේකබ්ට තවත් බලාගෙන සිටීමට ඉඩ ඉතුරු කරමින් ගැල් කොහේන් තවමත් අඩවන් කරගත් දෑසින් කොළය දෙස බලාගෙන සිටියාය.
ඇගේ දෑස කොළය මත තිබුනු නමුදු සිත වෙන කොහෙදෝ අතරමංව තිබුණි. ඇගේ මුහුණට අඟල් දෙකක් පමන ඈතින් ඩේමියන්ගේ මුහුණ වූ අතර ඔහු අසළින් නිකුත්වූ නැවුම් මිදි වයින් සුවඳ හා මිශ්‍රවූ සැර පිරිමි සුවඳවිලවුන් සුවඳත් ඇය අසළින්ම නැගෙන ඩේමියන්ගේ සුසුම්වල හඬත් ඇයගේ සිත ගල්කර තිබිනි. ඇය පියවි සිහියට එන විට ඩේමියන් ඇයගේ මහපටැඟිලි සළකුණ පොරොන්දු පත්‍රය මත තබා අනෙක් අයගේ ලේ සළකුණුද ලබාගෙන තිබිණි.
" ඔය ලාච්චුවල උඩම ලිපිගොනු ඔයාල අරන් යන්න ඒවගේ ඔයාලගෙ වංශයට අදාල අතීත කතාවත් තාත්තලාගෙ ගාඩියන්කෙනෙක් විදිහට එයාලගෙ අන්තිම කැමති පත්‍රත් ඇති. අපේ තාත්තලා ගියපු ගුවන් යානය අනතුරකට ලක්වෙලා... මගීන් පනස් දෙදෙනා එක්කම අපේ තාත්තලත් මිය ගිහින් තියනවා. ඒ වගේම ගුවන් නියමුවන් දෙදෙනාගෙ මෘතශරීර හමුවෙලා නෑ... මට සමාවෙන්න මේ විකාරයක් වෙනුවෙන් ඔය දේවල් ටික වෙලාවකට හංගගෙන හිටියට..... " අවසන් වදන් කිහිපය ඩේමියන්ගේ මුවින් ගිලිහීමට මත්තෙන් ඔහුගේ හඬ බිඳිනි.
ලිපි ගොනුවද අතැතිව ජේකබ් ඇග්රන් මුලින්ම කාමරයෙන් පිට වීමට නැගී සිටි අතර ඔහු මහත් කම්පනයකින් පසුවූ ඇලෙක්සාගේ එක් අතක් අල්ලාගෙන අසුනින් නැගිටුවා ගත් අතර කාමරයෙන් පිටවෙන දොරටුව දෙසට ඔහු ඇයව කැටුව ගියේය.
නමුත් කාහටත් වඩා ගැල්ගේ තත්වය දරුණු විය. මොහොතකට පෙර ඇගේ සිත කුල්මත් භාවයේ උපරිමයෙහි තිබුනු අතර සැණින් ඇයගේ මුලු ලොවම ඇය ඉදිරියේ කඩවැටුනා සේ ඇයට හැඟිනි. කලක් යටපත්ව තිබුණු ඇගේ ශ්වසන අපහසුවතාවද ඒ මොහොතේදී උත්සන්න වූයේ ඇය මුහුණ පෑ කම්පනය නිසාවෙනි.
ඇය හුස්ම ගැනීමට මහත් ආයාසයක් ගත් අතර ඇය වටා ලෝකය භ්‍රමණය වන්නා සේ ඇයට දැනිනි. පුටුව පෙරලාගෙන තමා දෙසට එන ඩේමියන්වත් ඔහු තමාව දෑතීන් ඔසවාගෙන දිවයන බවත් ඇයට අවසාන වශයෙන් බොඳ වූ දසුන් ලෙස දිස් විය......
Comentarios